Sunday, August 12, 2018

නැගෙණිය



සිහින සිතුවිලි සිත් දරාගෙන රකින පියුමයි නුඹ
නැගෙණියේ
රැයෙක තනිවී නොයනු මතුදින මිදුණු දෑතින්
මවකගේ
නොවනු කඳුලක් කිසිම දිනක දී ගලන දෑසේ
පියෙකුගේ
දැනුන කලක දී නොවිඳී සෙනෙහස මුලා නොවියන්
නංගියේ...

රකින පතිවත බිඳුනු කලක දී නැත පෙමක් ඔබේ
අභියසේ
හඬනු කම් නැත ඔබේ කුමරා පෑල දොරෙන් පැනගිය
දිනේ
එවන් සිත් දැක නොයන් පසුපස යලිත් දුකටම මේ
සංසාරයේ
මව්පියන් දැකි පැතුම් පොදි නොකෙලෙසන් මගේ
නංගියේ...


Thursday, July 19, 2018

අතරමං වූ සිතුවිලි



විහඟුන් ගී ගයනා ආදර සිහිනේ
ආසයි විඳින්නට ඔබේ සෙනෙහේ
නොපිපුන කුසුමකි ඒ ආලේ
ඉඩ දෙනු පිපෙන්නට රහසේ

කුලුඳුල් හැඟුම් පොදි මාගේ
පාවෙයි සිහින් රොද මෙන් අහසේ
කියන්නට නම් බෑ බෝහෝ සේ
දැනුන ආලය පෙම් සිත අස්සේ

සොඳුරු සිතුවිලි ගලනු මේ පැයේ
ලියනු විනා මුදු පෙම් කවි සිතේ
පෙනෙන ලෙසින් ඔබ ඇවිදින රැයේ
තබන්නම් මේ සැම කැටපත් පවුරේ

තනිව කරන්නම් රහසින් ප්‍රේමේ
රැඳෙමින් තවමත් ඔබෙ සිත් අහසේ
දිලුනත් අන් තරු නොබියව මුදුනේ
මා පමණයි ඔබෙ ලොව දුටුවේ

නොකියූ හද හැඟුමන් පෙර සේ
කියන්න ද ළං වී ඔබෙ තුරුලේ
නොදනිමි තවමත් ඔබෙ සෙනෙහේ
අතරමගයි මම ඒ පාරේ...

Tuesday, July 17, 2018

සීතල පෙම



සීතල වැස්සේ පාද තබා යලි
තෙමෙන්නට
හරිමින් ඉඩ වැහි බිඳු වෙත මුව අතුරා
වැටෙන්නට
සෙවණක් නැති මේ නුබ ගැබ යට
සැරිසරන්නට
නැවතත් ඒවි ද ඔබ මේ සුව
විඳින්නට...
නැති දෝ තෙත් වූවේ ඔබෙ සිත
වැස්සට
දහසක් හද හැඟුම් පා කර
හරින්නට
වියැකෙන වැහි බිඳු අනියතබව
කියන්නට
දැරුව වෙහෙස අමතක දෝ යලි
ඔබට...
ජීවන මගේ දුක සතුටින්
මැකෙන්නට
වැස්ස නිමා වී හිරු යලි
නැගෙන්නට
රැයට සොමි ලෙසින් නුබෙ හි
පායන්නට
ඒවි ද ඔබ යලිත් මගේ ලෝ එළි
කරන්නට...

Sunday, July 15, 2018

මිනිසත්කම...



කහවණු සොයමින් දුවනා මේ ජීවිත
නොදුටුවා ද මිනිසත්කම ලය මත
හැසිරෙන දනා නොනැසෙන මෙන් මිහිමත
දිනකදි අතරමං වනු ඇත සසර 
තුල...
 ඇති නැති සැවොම දිනක දි දුක්වනු ඇත
වැටහුනු කල දිරනා බව අප ගත
සොයපු කාසි නැත එදිනට ඔබ අත
එතර කරන්නට සසරින් සිත් 
කැල...
 නොපමා වනු වටහා ගන්නට ඇත්ත
කාසි දිනක නැති වෙයි ඔබ සිත් ගත්ත
දිවිගෙව් සැම සිනහව නැගි මුව මත
නොගිලෙනු නිසැකයි තම හද පතුල 
තුල...


Tuesday, July 10, 2018

නිහඬ රැය



ගෙවෙන කාලය දැනෙයි
හද හැඟුම් බර රැයේ
නිවන්නට ගිමන් සිතෙයි
මදක් නතර වී ඔබේ හදේ...

දුර යන සිහින පෙනෙයි
දිව යනු බෑ මේ පැයේ
නෙතට විඩාබර ගෙනෙයි
බොඳවන පැතුම් අභියසේ...

සොමි ද පායා දිලෙයි
නොනිදන හදකට රහසේ
අඳුර ද නැත ඉඩ ඉල්ලයි
පෙම් කල හදකින් පණ සේ...

Thursday, June 21, 2018

නොමැකෙන පියසටහන්



සිනිඳු අතගෙන මගේ
ඇවිදපු හැටි මග දිගේ
වැටුන විට ගෙයි කොනේ
නැගිටුවා ඒ 
දිනේ...
රෑට හැඬුමට මගේ
නිදි නොලැබුන වෙලේ
රැගෙන මා ඔබේ අතේ
සැනසුවේ යමින් මව 
වටේ...
උණකින් පෙලුන විට මා උදේ
නැත ඔහු වැඩට ගියේ
හොවා මා අත් දෙකේ
නැලවුවා මේ හැම
 පැයේ...
පළමු දින මට පාසලේ
දැනුනා පාලුව දවස තිස්සේ
සිහිවුනා ඔබේ සෙනෙහෙ නිවැසේ
එන්න සිතෙමින් ඔබේ 
පස්සේ...
නැත වැටකඩොලු පිය සෙනේ
ඔබ දුන් මට හැම දිනයේ
මතු භවයෙත් ඔබ තුරුලේ
සැනසෙන්නට මා 
එන්නේ...


Wednesday, June 20, 2018

තනි වූ සිත [02]



දුක අද නැත ඒ දෑස තෙමු
සිත ගල් වී ඇත පෙර මුදු වූ
නැත මුව අග වදනුත් තෙපලූ
ඔබ දැකුමට නම් සිත් රිසි වූ...

නොලැබෙන පෙමකට හද හැඬවූ
යශෝධරාවකි මම දුක් වූ
මතු එන සසරෙත් ඔබව පැතු
නොපෙලන් සිත් පෙම වරක් පිදූ...

සිනහව පෙර දින මුව තැවරු
ගෙන්වනු ආයෙත් ඔබ පැන්වූ
කඳුලට නැවතත් සමු ගැන්වූ
දිනකදි එක් වෙමු ඔබ පැවසූ...

ඔබ යලි එනතුරු මා තනිවූ
නාගස ඇත තවමත් ගොලු වූ
මේ නුබ යට හිඳ ඔබ වෙන්වූ
මතකය නොමැකෙයි මා සිත් වූ...

Tuesday, June 19, 2018

තනි වූ සිත [01]



හැඟුමක තැවරුණු සිත අද නැත
සුසුමක තැවරී වෙන්ව ගියා දෝ
මා දුටු සිහිනය ඔබ දුටුවා නම්
නැත මෙතරම් වදනුත් මුවහත්...

ගෙවුන අතීතය නැත මනරම්
සොඳුරු වදන් පෙළ සිහි ගෙනදෙයි
බොඳවනු නැත මගේ සිහි එතරම්
සුළඟින් කිව මැන ඔබේ හැඟුමන්...

සැනසුම සොයමු ද නැවතත් ළං වී
අහසට කියමින් ඒ සන්තෝසේ
ආයෙත් නොහඬමු මේ සංසාරේ
පෙරදා විලසින් සිත් වෙන් වී...

Monday, June 18, 2018

The Alchemist


Paulo Coelho ගේ තවත් අනර්ඝ ඉදිරිපත් කිරීමක් වන The Alchemist ලොව පුරා පාඨකයන්ගේ සිත්දිනාගත් කෘතියක්. මෙම පොත විවිධ භාෂා කිහිපයකටම පරිවර්තනය වී ඇති අතර මිලියන 65 කට පමණ ආසන්න පිටපත් ප්‍රමාණයක් ලොව පුරා අලෙවි වී තියනවා...

මෙහි මුලු කතාවම ගෙතෙන්නේ සන්තියාගෝ නම් තරුණයෙකු වටායි. ඔහු තම සිහින පසුපස හාඹායන ආකාරයත් එහිදි ඔහුට මුහුණපාන්නට සිදුවන කටුක අත්දැකීමුත් ලේඛකයා ඉදිරිපත් කරන්නේ පාඨක සිත් ධෛරයෙන් පුරවමින්...

විටෙක සන්තියාගෝ තමන් සතු වටිනාම දෙවල් කැපකර තම සිහිනය පසුපස දිවයන ආකාරය පාඨක සිත් මොහොතකට ගොලු කරන්නේ විස්මය දනවන ලෙසින්. එනිසාම වරක් හෝ මෙම පොත කියවූ පුද්ගලයෙකු තම ජීවිතය වෙනස් කරගැනීමට ඇති ඉඩකඩ බොහෝ ලෙසින් ඉහලයි යන්න වැඩි පිරිසකගේ පොදු අදහසයි...

“And, when you want something, all the universe conspires in helping you to achieve it.”

මෙය මෙම පොතෙහි ඇති ඉතාමත් වැදගත් වැකියකි. ඔබට යම් දෙයක් තදින් අවශය්‍ය කරන්නේ ද ඔබ වටා ඇති සියලු දේ එය ලබාගැනීම සඳහා සහායවනු ඒකාන්තයි...

කුතුහලය, ආදරය, ජීවන පසුබැසීම්, නොපසුබට උත්සහය යන සාධක වලින් පෝෂිත මෙම පොත ඔබ රසවින්ඳිය යුතුමයි යන්න තවදුරටත් මාගේ හැඟීමයි...මන්ද මෙය ඔබගේ ජීවිතය යහපත් ලෙස වෙනස් කරනවාට කිසිදු සැකය නෑ...



Saturday, June 16, 2018

අඩු කුලේ පර හැත්ත


මෑත කාලයේ බොහෝ දෙනාගේ අවධානය දිනාගත් වචන පෙළක් තමා “අඩු කුලේ පර හැත්ත” කියන්නේ... ඇත්තටම මේක ගොඩක්ම ප්‍රසිද්ධ වුනේ “වස්ති” කියන කණ්ඩායම යූ ටියුබ් වීඩියෝ ක්ල්ප් එකක් දැමීමත් සමඟයි. දැක්ක සැනින් සමහරවිට ඔබට හිතෙන්න පුලුවන් මේක නිකන්ම නිකන් ආතල් එකට කියන්න පුලුවන් වචන ටිකක් විතරයි කියලා... ඒත් මේ වචන ටික අපිට කියන්නේ අපේම රටේ ගොඩක් දෙනෙක් නුදුටු පැතිකඩක්...

අපේ සමාජය විසින්, අපි එසේත් නැතිනම් ඔබ උපදින විටම කුලයකට කොන් කරල හමාරයි. සමහරවිට එය අඩු කුලයක් වන්නත් පුලුවන් නොවන්නත් පුලුවන්. ගැටලුව නම් තාක්ෂණය අතින් මෙතරම් දියුණු කාලයක කුල පිළිබඳව දැඩි විශ්වාසයෙන් කටයුතු කරන පිරිස් බහුලව දැකීමට ලැබීමයි...

අපේ සමාජය එතරම්ම ප්‍රාථමික ද???

පාරට ටෝපි කොලය දමන ඔබ උසස් කුලය කෙනෙකුත් පාර පිරිසිදු කරන කම්කරුවෙකු පහත් කුලයක කෙනෙකු ලෙසත් ඔබ තීරණය කරේ කිනම් පදනම මත ද??? කෙනෙකු උසස් හෝ පහත් වන්නේ ක්‍රියාවෙන් නොවේ ද??? එසේ නම් කුලය නිසා සමාජයෙන් කොන්වන පිරිස් ගැන අප උනන්දු විය යුතු නැති ද??? අප දැන් සිටින්නේ මේ කුලය නැමැති මිතය්‍යාවෙන් මිදිය යුතු කාලයකයි. ඉතාම ඉක්මණින් දියුණුවන තාක්ෂණයත් සමඟ මෙවැනි යල් පැනගිය අදහස් වලින් අප මිදිය යුතුයි. නැති නම් අපේ සමාජයේ දියුණුවක් ඉදිරියටත් අපිට දකින්න නොහැකි වේවි.

ඒනිසා මේ සිතිය යුතු කාලයයි…




Friday, June 15, 2018

The village by the sea

ළමා සාහිතය්‍ය පිළිබඳ කතා කරන විට, Anita Desai යනු කතා නොකරම බැරි චරිතයකි. ඉන්දීය ජාතික කතුවරියක වන මැයගේ උපන් නාමය Anita Mazumdar වන අතර කෘතීන් ගණනාවකින්ම තම සාහිතය්‍ය හැකියාව සහා පරිණතභාවය පෙන්වූ ලේඛිකාවකි. පාඨකයා කතාව තුල ජිවත්කරවීමට හැකි අයුරින් වචන සහා අදහස් ඉදිරිපත් කිරීමට මැයට ඇති හැකියාව ළමා සාහිතය්‍ය තුල ප්‍රචලිත කතුවරියක් බවට පත්කිරීමට මහත් ලෙස ඉවහල් වූ බව නම් නොවනුමානයි.


The village by the sea හි කතාව ගෙතෙන්නේ වෙරල ආසන්න දුප්පත් අහින්සක පවුලක් වටායි. හාරි සහා ලිලා යන දරුවන් දෙපල වෙත වගකීම් පැටවෙන්නේ ඔවුන්ගේ මව අසනීපව ඇඳට වැටෙනවාත් සමගයි. තම පියා බීමත්කමට ඇබ්බැහි වීමත් සමග තම පවුලේ ආර්ථිකය තමන් කර මතට ගන්නා හාරි සහ ලීලා හට මුහුණ පෑමට සිදුවන කරදර නම් බොහෝමයි. විටෙක හාරි තම නිවස අතහැර යාමට තීරණය කිරීම කතාවට අමුතුම කුතුහලයක් එක්කරනවාට සැකයක් නෑ. හාරී කොහෙද යන්නේ??? හාරිට එහිදි මොනවා වෙයි ද??? ලීලාට තම නැගෙණියන් දෙදෙනා තනිව රැක බලාගැනීමට හැකි වෙයි ද?
ලීලාගේ මව ඉක්මණින් සුව අතට හැරෙයි ද???පියා බීමත්කමින් මිදෙයි ද??? මේ සියලුම ප්‍රශ්නවලට පිළිතුරු මෙම පොත තුලය. එසේනම් එම පිළිතුරු පාඨක ඔබට සොයාගැනීමට ඉඩහරිමින් මම මොහොතකට නතර වන්නම්...



By The River Piedra I Sat Down & Wept

බ්‍රසීලියානු ජාතික ලේඛකයෙකු වන Paulo Coelho එදා මෙදා තුර බිහි වූ ඉතාමත් දක්ෂ සාහිතය්‍යධරයෙකි. එනිසාම ඔහු රචිත බොහෝ සාහිතය්‍ය කෘතීන් පාඨක ජනයා ඇඳ බැඳ තබාගැනීමට සමත් වූයේ නිතරඟයෙනි. වචන වලට සාහිතය්‍ය රසය මුසු කරමින් යම් පැහැදිලි යාතාර්ථයක් ඉතාමත් සැහැල්ලු ලෙසින් පාඨකයා වෙත ඉදිරිපත් කිරීමට ඔහු තුල වන්නා වූ හැකියාව නම් ඉතාමත් සිත්ගන්නා සුලුයි.



By The River Piedra I Sat Down & Wept යනු තවත් ඔහුගේ හැකියාවන් විදහා දක්වන අනර්ඝ කෘතියකි.
මෙහි සම්පූර්ණ කතාව ගෙතෙන්නේ Pilar නැමැති තරුණිය සහා ඇයගේ ආදරය වටායි. ඇයව කුඩා කල දී හැරගිය පෙම්වතාගේ යලි ආගමනයත් සමඟ ආරම්භ වන මෙම කතාන්දරය ඔවුන් දෙපලට මුහුණපාන්නට සිදුවන යම් යම් සිද්ධීන් සමූදායක් සමඟ ගලා යන්නේ පාඨක සිත් මොහොතකට නිහඩ කරමිනි.

ආගමික මුහුණුවර සහා සාම්ප්‍රදායික ආදරය අතික්‍රමණය කරමින් සෑම කෙනෙකුටම දක්වන්නා වූ මානූෂීයත්වය පිළිබඳව, කතාව ඔස්සේ ගලායාම තවත් මෙහි ඇති විශේෂත්වයකි.
එනිසා තියුණු රසාස්වාදයක් ඇති පාඨක ඔබ ද මෙම පොත කියවීමෙන් වින්දනයක් ලබනවා නොවනුමානය.




Thursday, June 14, 2018

ඔහු සහ ඇය

මේ කාතාව කොහොම ද පටන් ගන්න ඕනේ කියල මට තාමත් හිතා ගන්න බෑ. ඒත් මේක ඔබ හමුවේ ගෙනහැර දැක්විය යුතුමයි කියා සිතුන වාර අනන්තයි, අප්‍රමාණයි. සමහර විට මේක කියෙව්වාම, කියන්න ඕන කතාවක් නෙමෙයි කියලත් කාටහරි හිතෙන්න පුලුවන්. ඒත් මේකේ අවසානයෙන් නියම යාතාර්ථය දකින්න පුලුවන් නම් එක තමයි ඔබත් මාත් ලබන පරම ජයග්‍රහණය.

අද මෙන්ම එදත් කොළඹ යනු ඉතාමත් ජනාකීර්ණ නගරයක්, මම මේ කතා කරන්නේ මීට අවුරුදු හතකට හෝ අටකට පමණ පෙර අතීතයයි. එකල ද කොළඹ අතිශය ජනයාගෙන් පිරී ඉතිරි ගිය නගරයක්. එත් ගම් බද අපිට සෙනග එතරම් හුරුපුරුදු නෑ, නමුත් පාසල් නිවාඩු ලද සැනින්ම කොළඹ අත්තම්මලාගේ ගෙදර වෙත දිවිම තරම් දෙයක් මටත් මාගේ නැගණියටත් නොතිබූ බව නම් නොවනුමානය. සුපුරුදු පරිදි නැගෙණිය යෝජනාව ඉදිරිපත් කලා, මම පසෙකින් සිටියෙ එය ස්ථිර කරනු පිණිස මිස වෙනයම් බලාපොරොත්තුවකින් නම් නොවේ.

“මොකද්ද අම්මේ, නිවාඩුව පටන් ගෙනත් දැන් සතියක් වෙනවා. අපි අත්තම්මලාගේ ගෙදර යන්නෙ නැද්ද?”

නංගි නිතරම පෙරැත්ත කරන්න පටන් ගත්තා. හවස තාත්තා වැඩ නිමවෙලා ගෙදර ආවට පස්සේ තමා සුභදායක පිළිතුරක් ලැබුනේ, මං හිතන්නේ අම්මා කලින්ම තාත්තට විස්තරේ කියල ද කොහෙදෝ.

“හෙට 6.10ට ඉන්ටර් සිටිය තියනවා නුවර ස්ටේෂමෙන් කොළඹ කොටුවට, මං එන ගමන් වොරන්ට් එකකුත් ලියාගෙනම අවේ කෝකටත්. දැන් ම ඇඳුම් ටික පැක් කර ගන්නවා හොඳා මහ රෑ වෙනකන් අම්මල දුවල ඇහැරිල ඉන්නෙ නැතුව.”
තාත්තා ඒ කිව්ව වචන ටික නංගිටයි මටයි අමුතුම ප්‍රොබෝධයක් ගෙන දුන්නා.

***********************************************************************************

කිව්වත් වගේ 6.10 ඉන්ටර් සිටිය 2 වෙනි වේදිකාවේ අපි යනකොටත් නවත්තල. අම්මෝ ! පුදුම සෙනගක්, මං හිතන්නේ ඉස්කෝල නිවාඩු හින්ද ද කොහෙදෝ. බදුල්ලේ කෝච්චියේ නම් ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නෑ. වෙන් කල ආසන නිසා අපිට නම් කොළඹ කෝච්චියේ දි එතරම් කරදර වුනේ නෑ.

අපි කොටුවෙන් බහිනකොට උදේ 9ට විතර ඇති. ඒ වන විටත් තද අව් රශ්මියෙන් නම් අඩුවක් වුනේ නෑ. නුවර අපිට එහේ රස්නයයි, දාඩියයි කොහොමත් හුරු නෑ. මේ හැමදේම අස්සේ අපි මොරටුව බස් එකට ගොඩවුනේ රත්මලානෙන් බහින අටියෙන්. පැයකින් පමණ අපි හිටියෙ අත්තම්මලගේ ගෙදර දොරකඩ ලඟ. නංගි දොරට පසෙකින් තිබූ බෙල් එක තදින් එබුවා. තත්පර 30ක් පමණ ගත වෙන්න ඇති. අත්තම්මා සිනහ මුසු මුහුණෙන් දොර ඇරියා.

“මම ඒත් බැලුවා මොකද පරක්කු කියලා” ඒ අත්තම්මාය.
අද නම් මාර සෙනගක් අම්මා නුවර හිටියේ. ස්ටේෂමේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ. ලක්ෂ්මන්ට වොරන්ට් තිබ්බ හින්දා හොඳට ගියා” පෙරලා පිළිතුරු දුන්නෙ අම්මා ය.
සැනෙකින් මුලු නිවසම කතා බස් වලින් පිරුණේ අපේ ආගිය මග තොට තොරතුරුත් එක්කමයි.

***********************************************************************************

පසුව දා මම TV එක බලමින් සිටියේ වෙන යම් දෙයක් කිරීමට ඇති කම්මැලිකම නිසාමයි. නංගි නම් තාම එහා ගෙදර පොඩි අයත් එක්ක සෙල්ලම. වේලාව 11ට විතර ඇති. අම්මයි අත්තම්මයි ලොකු කතාවක්, තාත්තා ටවුමට ගිහින් ගෙදරට ඕන කලමනා ටිකක් ගෙන්න. මේ අතර අහම්ඹෙන් වගේ මගේ කන වැකුනේ රණඩුවක සද්දේ. මම ඉක්මණින් බැල්කනියට දිව්වේ සද්දේ මොකද්ද බලන්න. පාරේ කවුදෝ ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි ගහ ගන්නව. TV එකෙන් ඔය වගේ එවා නිතරම දැක්කත් මේ රණ්ඩුව නම් හරිම වෙනස්. ගෑණු ළමයා හයින් පාරක් ගහනකොට පිරිමි ළමයත් ඊට නොදෙවෙනි පාරක් ගැහුවා. දෙන්නට දෙන්නා ගහ ගන්නවා. ඔවුන් පැමිණි මෝටර් සයිකලය පසෙකින් වැටී තිබුණා. මේ සද්දේට අම්මායි, අත්තම්මයි දෙන්නත් බැල්කනියට ඇවිත් තිබුණේ කුමක් වන්නේ දැයි විපරම් කිරිමට. අපි බලා සිටියේ කර කියා ගැනීමට දෙයක් නොමැතිවයි. කෙසේ හෝ මා මෙය විනාඩි 15 පමණ සිට බලාහිඳ ඇති බවට නොවනුමානයි. එහෙත් අවුරුදු 14 දරුවෙක් වන මම මේ රණ්ඩුව කෙසේ නවතන්න ද?

“අම්මේ ඔයා පුතත් එක්ක ඉන්න, මන් ගිහින් කොල්ලටයි කෙල්ලටයි සැර කරල එන්නම්. කාගේ උනත් දරුවොනෙ අම්මේ, නැද්ද” කියන ගමන්ම අම්ම මට අතින් සන් කලේ පහලට නොපැමිණෙන ලෙසයි.

එත් අම්මා පහලට බහින විටත් පරක්කු වැඩිය. මන්ද අසල සිටි නිවැසියෙක් පාරට බැස තත්වය සමනය කිරීමට සැරසී හමාරය.

“මුඩුක්කු වල පර හැත්ත. ගෙදරකවත් ඉන්න නෑ නිවි හැනහිල්ලේ. ගහල පන්නන්න කලින් පලයව් යන්න. මං දැන් නොකිව්වයි කියන්න එපා” නිවැසි කාන්තාව පාර දෙවනත් කරමින් කෑගැසුවා.

කෙල්ලගෙ නම් කම්මුල ඉදිමිල, කොල්ලගෙ මූණේ සීරුම් පාරවල් වලින් පොඩ්ඩ පොඩ්ඩ ලේ ගලනවා. කෙල්ල ගලකින් ගහපු නිසා කොල්ලගේ කකුලෙනුත් ලේ ගලනවා.
නිවැසි කාන්තාවට බය වූ දෙපලම මොටර් සයිකලය ද අහුලගෙන පයින්ම ඉදිරියට ඇදුනා. ඒ සමඟම කාන්තව ගේට්ටුව වසාගනිමින් ගෙට ගොඩ වුනා, අම්මා ද උඩට පැමිණියේ අත්තම්මා සමඟ කතාවට තව ලුණු ඇඹුල් එක් කරන අදහසිනි.

ඒත් මම බැල්කනියට වී ඈතින් අවිදන් යන ආවේගශිලි තරුණ දෙපල දෙස බලන් හිටියේ බොහෝම උනන්දුවෙන්. කෙසේ වෙතත් වැඩි දුරක් නොගොස් පෙර පරිදිම දෙදෙනා ආයෙත් කාකොටා ගැනීමට පටන් ගත්තේ ආදරය ගැන එතරම් දැනීමක් නොතිබුණු මට ද යම් ප්‍රශ්නාර්තයක් ඇති කරමිනි.

කතාවෙන් ඔබ්බට

පසුව දැනගන්නට ලැබුන පරිදි, රණ්ඩු වූ තරුණ දෙපල ඒ අවට පදින්චි බොහොම සල්ලිකාර පවුල් 2ක දරුවන් දෙදෙනෙකි. ගැටලුව නම් එය නොව්. ඔබ මොහොතකට හෝ සිතුවාද මේ දෙපල විවාහ වූ කල කුමක් සිදු වේ දැයි කියා? අදට ද මෙවැනි කතා බොහොමය. අදට ද අඹුසැමි වෙන්වීම් එමටය. ඒ නිසා අසරණ වන පුන්චි දරුවන් එමටය. එසේනම් වරද කොතැන ද??? සිතීම ඔබට බාරයි.........
(මෙය තවත් එක් තරුණ දෙපලකගේ ලාමක ගැටලුවක් ලෙස නොසලකන්න. මෙය සමාජයට තවදුරටත් බලපාන අයුරු දකින්නට තරම් ඔබගේ පරිණත අදහස් මෙහෙයවීමට උනන්දු වන්න.)



ආදරණීය මව්පියන්



දුටු දා පටන් මම මේ නව                            ලෝකය
දුන්නා වදන් ගෙන යන්නට                          ජීවිතය
යන්නට පෙන්නුවේ හැමවිට යහ                   මගය
වැන්ඳේ බුදුන් යැයි ඔබ                                දෙපලය

කාලය සෙමෙන් යයි අප සිත් එක               ලෙසය
කුලුඳුල් මටත් ඔබේ සෙනෙහස                    ඇතිය
නොපතමි තව යමක් ඔබගෙන් මේ              භවය
රැඳෙනු සාදාකල් ඔබ මා                          අසලමය

නමදිමි දෙපා ඔබගේ හදපිරි              බැතියෙන්ම
නැත පමණක් පතමින් මා                      අනුහස්ම
ඒ සැමවිටම අසමින් දෙන                        ඔවදන්ම
පතනෙමි මම  ඔබේ නිරෝගී                     සුවයම

වදනුත් මදි ඔබෙ ගුණ                             ගයන්නම
හැඟුමුත් මදි ඔබේ සිත්                        තෙමන්නම
ගෙවනත් මදි ඔබ දුන් ණය මේ                   සසරම
වඳින්නම් දෙපලම ඔබ  එබැවින්               හැමදාම

නැත මට සරණ ඔබ හැර මෙලොව                වෙන
නැත මට අරමුණු ඔබගෙන් වෙන්                  වන්න
නැත මට අන් සෙනෙහසක් ඔබ දුන් ලෙස  ලබන්න
නැත මට අදහසක් ඔබ තනි කර                     ලන්න

කල හැම දෙය මා අඳුරෙන් රැක                        ගන්න
ආසිරි වේවා ඔබට මේ සසරෙන් ගොඩ            වන්න
පතනෙමි ඔබේ අවසර මෙතැනින්              නවතින්න
මතු සන්සාරෙත් යලි ඔබෙගේ පුතු                 වෙන්න

සිත්ගත් ලිපි