මේ කාතාව
කොහොම ද පටන් ගන්න ඕනේ කියල මට තාමත් හිතා ගන්න බෑ. ඒත් මේක ඔබ හමුවේ ගෙනහැර
දැක්විය යුතුමයි කියා සිතුන වාර අනන්තයි, අප්‍රමාණයි. සමහර විට මේක කියෙව්වාම, කියන්න ඕන කතාවක් නෙමෙයි කියලත්
කාටහරි හිතෙන්න පුලුවන්. ඒත් මේකේ අවසානයෙන් නියම යාතාර්ථය දකින්න පුලුවන් නම් එක
තමයි ඔබත් මාත් ලබන පරම ජයග්‍රහණය.
අද මෙන්ම එදත් කොළඹ යනු ඉතාමත් ජනාකීර්ණ නගරයක්, මම මේ කතා කරන්නේ මීට අවුරුදු හතකට
හෝ අටකට පමණ පෙර අතීතයයි. එකල ද කොළඹ අතිශය ජනයාගෙන් පිරී ඉතිරි ගිය නගරයක්. එත්
ගම් බද අපිට සෙනග එතරම් හුරුපුරුදු නෑ, නමුත් පාසල්
නිවාඩු ලද සැනින්ම කොළඹ අත්තම්මලාගේ ගෙදර වෙත දිවිම තරම් දෙයක් මටත් මාගේ
නැගණියටත් නොතිබූ බව නම් නොවනුමානය. සුපුරුදු පරිදි නැගෙණිය යෝජනාව ඉදිරිපත් කලා,
මම පසෙකින් සිටියෙ එය ස්ථිර කරනු පිණිස මිස වෙනයම්
බලාපොරොත්තුවකින් නම් නොවේ.
“මොකද්ද අම්මේ, නිවාඩුව පටන් ගෙනත් දැන් සතියක් වෙනවා. අපි අත්තම්මලාගේ
ගෙදර යන්නෙ නැද්ද?”
නංගි නිතරම පෙරැත්ත කරන්න පටන් ගත්තා. හවස තාත්තා වැඩ
නිමවෙලා ගෙදර ආවට පස්සේ තමා සුභදායක පිළිතුරක් ලැබුනේ, මං හිතන්නේ අම්මා කලින්ම තාත්තට
විස්තරේ කියල ද කොහෙදෝ.
“හෙට 6.10ට ඉන්ටර් සිටිය තියනවා නුවර ස්ටේෂමෙන් කොළඹ
කොටුවට, මං එන ගමන්
වොරන්ට් එකකුත් ලියාගෙනම අවේ කෝකටත්. දැන් ම ඇඳුම් ටික පැක් කර ගන්නවා හොඳා මහ රෑ
වෙනකන් අම්මල දුවල ඇහැරිල ඉන්නෙ නැතුව.”
තාත්තා ඒ කිව්ව වචන ටික නංගිටයි මටයි අමුතුම ප්‍රොබෝධයක්
ගෙන දුන්නා.
***********************************************************************************
කිව්වත් වගේ 6.10 ඉන්ටර් සිටිය 2 වෙනි වේදිකාවේ අපි
යනකොටත් නවත්තල. අම්මෝ ! පුදුම සෙනගක්,
මං හිතන්නේ ඉස්කෝල නිවාඩු හින්ද ද කොහෙදෝ. බදුල්ලේ කෝච්චියේ නම්
ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නෑ. වෙන් කල ආසන නිසා අපිට නම් කොළඹ කෝච්චියේ දි එතරම් කරදර
වුනේ නෑ.
අපි කොටුවෙන් බහිනකොට උදේ 9ට විතර ඇති. ඒ වන විටත් තද
අව් රශ්මියෙන් නම් අඩුවක් වුනේ නෑ. නුවර අපිට එහේ රස්නයයි, දාඩියයි කොහොමත් හුරු නෑ. මේ හැමදේම
අස්සේ අපි මොරටුව බස් එකට ගොඩවුනේ රත්මලානෙන් බහින අටියෙන්. පැයකින් පමණ අපි
හිටියෙ අත්තම්මලගේ ගෙදර දොරකඩ ලඟ. නංගි දොරට පසෙකින් තිබූ බෙල් එක තදින් එබුවා.
තත්පර 30ක් පමණ ගත වෙන්න ඇති. අත්තම්මා සිනහ මුසු මුහුණෙන් දොර ඇරියා.
“මම ඒත් බැලුවා මොකද පරක්කු කියලා” ඒ අත්තම්මාය.
“අද නම් මාර සෙනගක් අම්මා නුවර හිටියේ. ස්ටේෂමේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ.
ලක්ෂ්මන්ට වොරන්ට් තිබ්බ හින්දා හොඳට ගියා” පෙරලා පිළිතුරු දුන්නෙ අම්මා ය.
සැනෙකින් මුලු නිවසම කතා බස් වලින් පිරුණේ අපේ ආගිය මග
තොට තොරතුරුත් එක්කමයි.
***********************************************************************************
පසුව දා මම TV
එක බලමින් සිටියේ වෙන යම් දෙයක් කිරීමට ඇති කම්මැලිකම නිසාමයි. නංගි නම්
තාම එහා ගෙදර පොඩි අයත් එක්ක සෙල්ලම. වේලාව 11ට විතර ඇති. අම්මයි අත්තම්මයි ලොකු
කතාවක්, තාත්තා ටවුමට ගිහින් ගෙදරට ඕන කලමනා ටිකක් ගෙන්න.
මේ අතර අහම්ඹෙන් වගේ මගේ කන වැකුනේ රණඩුවක සද්දේ. මම ඉක්මණින් බැල්කනියට දිව්වේ
සද්දේ මොකද්ද බලන්න. පාරේ කවුදෝ ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි ගහ ගන්නව.
TV එකෙන් ඔය වගේ එවා නිතරම දැක්කත් මේ රණ්ඩුව නම් හරිම වෙනස්. ගෑණු ළමයා හයින් පාරක් ගහනකොට පිරිමි ළමයත් ඊට නොදෙවෙනි පාරක් ගැහුවා. දෙන්නට
දෙන්නා ගහ ගන්නවා. ඔවුන් පැමිණි මෝටර් සයිකලය පසෙකින් වැටී තිබුණා. මේ සද්දේට
අම්මායි, අත්තම්මයි දෙන්නත් බැල්කනියට ඇවිත් තිබුණේ කුමක්
වන්නේ දැයි විපරම් කිරිමට. අපි බලා සිටියේ කර කියා ගැනීමට දෙයක් නොමැතිවයි. කෙසේ
හෝ මා මෙය විනාඩි 15 පමණ සිට බලාහිඳ ඇති බවට නොවනුමානයි. එහෙත් අවුරුදු 14 දරුවෙක්
වන මම මේ රණ්ඩුව කෙසේ නවතන්න ද?
“අම්මේ ඔයා පුතත් එක්ක ඉන්න, මන් ගිහින් කොල්ලටයි කෙල්ලටයි සැර
කරල එන්නම්. කාගේ උනත් දරුවොනෙ අම්මේ, නැද්ද” කියන ගමන්ම අම්ම මට අතින් සන් කලේ පහලට නොපැමිණෙන
ලෙසයි.
එත් අම්මා පහලට බහින විටත් පරක්කු වැඩිය. මන්ද අසල සිටි
නිවැසියෙක් පාරට බැස තත්වය සමනය කිරීමට සැරසී හමාරය.
“මුඩුක්කු වල පර හැත්ත. ගෙදරකවත් ඉන්න නෑ නිවි
හැනහිල්ලේ. ගහල පන්නන්න කලින් පලයව් යන්න. මං දැන් නොකිව්වයි කියන්න එපා” නිවැසි කාන්තාව පාර දෙවනත් කරමින් කෑගැසුවා.
කෙල්ලගෙ නම් කම්මුල ඉදිමිල, කොල්ලගෙ මූණේ සීරුම් පාරවල් වලින්
පොඩ්ඩ පොඩ්ඩ ලේ ගලනවා. කෙල්ල ගලකින් ගහපු නිසා කොල්ලගේ කකුලෙනුත් ලේ ගලනවා.
නිවැසි කාන්තාවට බය වූ දෙපලම මොටර් සයිකලය ද අහුලගෙන
පයින්ම ඉදිරියට ඇදුනා. ඒ සමඟම කාන්තව ගේට්ටුව වසාගනිමින් ගෙට ගොඩ වුනා, අම්මා ද උඩට පැමිණියේ අත්තම්මා සමඟ
කතාවට තව ලුණු ඇඹුල් එක් කරන අදහසිනි.
ඒත් මම බැල්කනියට වී ඈතින් අවිදන් යන ආවේගශිලි තරුණ දෙපල
දෙස බලන් හිටියේ බොහෝම උනන්දුවෙන්. කෙසේ වෙතත් වැඩි දුරක් නොගොස් පෙර පරිදිම දෙදෙනා
ආයෙත් කාකොටා ගැනීමට පටන් ගත්තේ ආදරය ගැන එතරම් දැනීමක් නොතිබුණු මට ද යම් ප්‍රශ්නාර්තයක්
ඇති කරමිනි.
කතාවෙන් ඔබ්බට
පසුව දැනගන්නට ලැබුන පරිදි, රණ්ඩු වූ තරුණ දෙපල ඒ අවට පදින්චි
බොහොම සල්ලිකාර පවුල් 2ක දරුවන් දෙදෙනෙකි. ගැටලුව නම් එය නොව්. ඔබ මොහොතකට හෝ
සිතුවාද මේ දෙපල විවාහ වූ කල කුමක් සිදු වේ දැයි කියා? අදට
ද මෙවැනි කතා බොහොමය. අදට ද අඹුසැමි වෙන්වීම් එමටය. ඒ නිසා අසරණ වන පුන්චි දරුවන්
එමටය. එසේනම් වරද කොතැන ද??? සිතීම ඔබට බාරයි.........
(මෙය තවත් එක් තරුණ දෙපලකගේ ලාමක ගැටලුවක් ලෙස නොසලකන්න.
මෙය සමාජයට තවදුරටත් බලපාන අයුරු දකින්නට තරම් ඔබගේ පරිණත අදහස් මෙහෙයවීමට උනන්දු
වන්න.)

No comments:
Post a Comment