Thursday, June 21, 2018

නොමැකෙන පියසටහන්



සිනිඳු අතගෙන මගේ
ඇවිදපු හැටි මග දිගේ
වැටුන විට ගෙයි කොනේ
නැගිටුවා ඒ 
දිනේ...
රෑට හැඬුමට මගේ
නිදි නොලැබුන වෙලේ
රැගෙන මා ඔබේ අතේ
සැනසුවේ යමින් මව 
වටේ...
උණකින් පෙලුන විට මා උදේ
නැත ඔහු වැඩට ගියේ
හොවා මා අත් දෙකේ
නැලවුවා මේ හැම
 පැයේ...
පළමු දින මට පාසලේ
දැනුනා පාලුව දවස තිස්සේ
සිහිවුනා ඔබේ සෙනෙහෙ නිවැසේ
එන්න සිතෙමින් ඔබේ 
පස්සේ...
නැත වැටකඩොලු පිය සෙනේ
ඔබ දුන් මට හැම දිනයේ
මතු භවයෙත් ඔබ තුරුලේ
සැනසෙන්නට මා 
එන්නේ...


Wednesday, June 20, 2018

තනි වූ සිත [02]



දුක අද නැත ඒ දෑස තෙමු
සිත ගල් වී ඇත පෙර මුදු වූ
නැත මුව අග වදනුත් තෙපලූ
ඔබ දැකුමට නම් සිත් රිසි වූ...

නොලැබෙන පෙමකට හද හැඬවූ
යශෝධරාවකි මම දුක් වූ
මතු එන සසරෙත් ඔබව පැතු
නොපෙලන් සිත් පෙම වරක් පිදූ...

සිනහව පෙර දින මුව තැවරු
ගෙන්වනු ආයෙත් ඔබ පැන්වූ
කඳුලට නැවතත් සමු ගැන්වූ
දිනකදි එක් වෙමු ඔබ පැවසූ...

ඔබ යලි එනතුරු මා තනිවූ
නාගස ඇත තවමත් ගොලු වූ
මේ නුබ යට හිඳ ඔබ වෙන්වූ
මතකය නොමැකෙයි මා සිත් වූ...

Tuesday, June 19, 2018

තනි වූ සිත [01]



හැඟුමක තැවරුණු සිත අද නැත
සුසුමක තැවරී වෙන්ව ගියා දෝ
මා දුටු සිහිනය ඔබ දුටුවා නම්
නැත මෙතරම් වදනුත් මුවහත්...

ගෙවුන අතීතය නැත මනරම්
සොඳුරු වදන් පෙළ සිහි ගෙනදෙයි
බොඳවනු නැත මගේ සිහි එතරම්
සුළඟින් කිව මැන ඔබේ හැඟුමන්...

සැනසුම සොයමු ද නැවතත් ළං වී
අහසට කියමින් ඒ සන්තෝසේ
ආයෙත් නොහඬමු මේ සංසාරේ
පෙරදා විලසින් සිත් වෙන් වී...

Monday, June 18, 2018

The Alchemist


Paulo Coelho ගේ තවත් අනර්ඝ ඉදිරිපත් කිරීමක් වන The Alchemist ලොව පුරා පාඨකයන්ගේ සිත්දිනාගත් කෘතියක්. මෙම පොත විවිධ භාෂා කිහිපයකටම පරිවර්තනය වී ඇති අතර මිලියන 65 කට පමණ ආසන්න පිටපත් ප්‍රමාණයක් ලොව පුරා අලෙවි වී තියනවා...

මෙහි මුලු කතාවම ගෙතෙන්නේ සන්තියාගෝ නම් තරුණයෙකු වටායි. ඔහු තම සිහින පසුපස හාඹායන ආකාරයත් එහිදි ඔහුට මුහුණපාන්නට සිදුවන කටුක අත්දැකීමුත් ලේඛකයා ඉදිරිපත් කරන්නේ පාඨක සිත් ධෛරයෙන් පුරවමින්...

විටෙක සන්තියාගෝ තමන් සතු වටිනාම දෙවල් කැපකර තම සිහිනය පසුපස දිවයන ආකාරය පාඨක සිත් මොහොතකට ගොලු කරන්නේ විස්මය දනවන ලෙසින්. එනිසාම වරක් හෝ මෙම පොත කියවූ පුද්ගලයෙකු තම ජීවිතය වෙනස් කරගැනීමට ඇති ඉඩකඩ බොහෝ ලෙසින් ඉහලයි යන්න වැඩි පිරිසකගේ පොදු අදහසයි...

“And, when you want something, all the universe conspires in helping you to achieve it.”

මෙය මෙම පොතෙහි ඇති ඉතාමත් වැදගත් වැකියකි. ඔබට යම් දෙයක් තදින් අවශය්‍ය කරන්නේ ද ඔබ වටා ඇති සියලු දේ එය ලබාගැනීම සඳහා සහායවනු ඒකාන්තයි...

කුතුහලය, ආදරය, ජීවන පසුබැසීම්, නොපසුබට උත්සහය යන සාධක වලින් පෝෂිත මෙම පොත ඔබ රසවින්ඳිය යුතුමයි යන්න තවදුරටත් මාගේ හැඟීමයි...මන්ද මෙය ඔබගේ ජීවිතය යහපත් ලෙස වෙනස් කරනවාට කිසිදු සැකය නෑ...



Saturday, June 16, 2018

අඩු කුලේ පර හැත්ත


මෑත කාලයේ බොහෝ දෙනාගේ අවධානය දිනාගත් වචන පෙළක් තමා “අඩු කුලේ පර හැත්ත” කියන්නේ... ඇත්තටම මේක ගොඩක්ම ප්‍රසිද්ධ වුනේ “වස්ති” කියන කණ්ඩායම යූ ටියුබ් වීඩියෝ ක්ල්ප් එකක් දැමීමත් සමඟයි. දැක්ක සැනින් සමහරවිට ඔබට හිතෙන්න පුලුවන් මේක නිකන්ම නිකන් ආතල් එකට කියන්න පුලුවන් වචන ටිකක් විතරයි කියලා... ඒත් මේ වචන ටික අපිට කියන්නේ අපේම රටේ ගොඩක් දෙනෙක් නුදුටු පැතිකඩක්...

අපේ සමාජය විසින්, අපි එසේත් නැතිනම් ඔබ උපදින විටම කුලයකට කොන් කරල හමාරයි. සමහරවිට එය අඩු කුලයක් වන්නත් පුලුවන් නොවන්නත් පුලුවන්. ගැටලුව නම් තාක්ෂණය අතින් මෙතරම් දියුණු කාලයක කුල පිළිබඳව දැඩි විශ්වාසයෙන් කටයුතු කරන පිරිස් බහුලව දැකීමට ලැබීමයි...

අපේ සමාජය එතරම්ම ප්‍රාථමික ද???

පාරට ටෝපි කොලය දමන ඔබ උසස් කුලය කෙනෙකුත් පාර පිරිසිදු කරන කම්කරුවෙකු පහත් කුලයක කෙනෙකු ලෙසත් ඔබ තීරණය කරේ කිනම් පදනම මත ද??? කෙනෙකු උසස් හෝ පහත් වන්නේ ක්‍රියාවෙන් නොවේ ද??? එසේ නම් කුලය නිසා සමාජයෙන් කොන්වන පිරිස් ගැන අප උනන්දු විය යුතු නැති ද??? අප දැන් සිටින්නේ මේ කුලය නැමැති මිතය්‍යාවෙන් මිදිය යුතු කාලයකයි. ඉතාම ඉක්මණින් දියුණුවන තාක්ෂණයත් සමඟ මෙවැනි යල් පැනගිය අදහස් වලින් අප මිදිය යුතුයි. නැති නම් අපේ සමාජයේ දියුණුවක් ඉදිරියටත් අපිට දකින්න නොහැකි වේවි.

ඒනිසා මේ සිතිය යුතු කාලයයි…




Friday, June 15, 2018

The village by the sea

ළමා සාහිතය්‍ය පිළිබඳ කතා කරන විට, Anita Desai යනු කතා නොකරම බැරි චරිතයකි. ඉන්දීය ජාතික කතුවරියක වන මැයගේ උපන් නාමය Anita Mazumdar වන අතර කෘතීන් ගණනාවකින්ම තම සාහිතය්‍ය හැකියාව සහා පරිණතභාවය පෙන්වූ ලේඛිකාවකි. පාඨකයා කතාව තුල ජිවත්කරවීමට හැකි අයුරින් වචන සහා අදහස් ඉදිරිපත් කිරීමට මැයට ඇති හැකියාව ළමා සාහිතය්‍ය තුල ප්‍රචලිත කතුවරියක් බවට පත්කිරීමට මහත් ලෙස ඉවහල් වූ බව නම් නොවනුමානයි.


The village by the sea හි කතාව ගෙතෙන්නේ වෙරල ආසන්න දුප්පත් අහින්සක පවුලක් වටායි. හාරි සහා ලිලා යන දරුවන් දෙපල වෙත වගකීම් පැටවෙන්නේ ඔවුන්ගේ මව අසනීපව ඇඳට වැටෙනවාත් සමගයි. තම පියා බීමත්කමට ඇබ්බැහි වීමත් සමග තම පවුලේ ආර්ථිකය තමන් කර මතට ගන්නා හාරි සහ ලීලා හට මුහුණ පෑමට සිදුවන කරදර නම් බොහෝමයි. විටෙක හාරි තම නිවස අතහැර යාමට තීරණය කිරීම කතාවට අමුතුම කුතුහලයක් එක්කරනවාට සැකයක් නෑ. හාරී කොහෙද යන්නේ??? හාරිට එහිදි මොනවා වෙයි ද??? ලීලාට තම නැගෙණියන් දෙදෙනා තනිව රැක බලාගැනීමට හැකි වෙයි ද?
ලීලාගේ මව ඉක්මණින් සුව අතට හැරෙයි ද???පියා බීමත්කමින් මිදෙයි ද??? මේ සියලුම ප්‍රශ්නවලට පිළිතුරු මෙම පොත තුලය. එසේනම් එම පිළිතුරු පාඨක ඔබට සොයාගැනීමට ඉඩහරිමින් මම මොහොතකට නතර වන්නම්...



By The River Piedra I Sat Down & Wept

බ්‍රසීලියානු ජාතික ලේඛකයෙකු වන Paulo Coelho එදා මෙදා තුර බිහි වූ ඉතාමත් දක්ෂ සාහිතය්‍යධරයෙකි. එනිසාම ඔහු රචිත බොහෝ සාහිතය්‍ය කෘතීන් පාඨක ජනයා ඇඳ බැඳ තබාගැනීමට සමත් වූයේ නිතරඟයෙනි. වචන වලට සාහිතය්‍ය රසය මුසු කරමින් යම් පැහැදිලි යාතාර්ථයක් ඉතාමත් සැහැල්ලු ලෙසින් පාඨකයා වෙත ඉදිරිපත් කිරීමට ඔහු තුල වන්නා වූ හැකියාව නම් ඉතාමත් සිත්ගන්නා සුලුයි.



By The River Piedra I Sat Down & Wept යනු තවත් ඔහුගේ හැකියාවන් විදහා දක්වන අනර්ඝ කෘතියකි.
මෙහි සම්පූර්ණ කතාව ගෙතෙන්නේ Pilar නැමැති තරුණිය සහා ඇයගේ ආදරය වටායි. ඇයව කුඩා කල දී හැරගිය පෙම්වතාගේ යලි ආගමනයත් සමඟ ආරම්භ වන මෙම කතාන්දරය ඔවුන් දෙපලට මුහුණපාන්නට සිදුවන යම් යම් සිද්ධීන් සමූදායක් සමඟ ගලා යන්නේ පාඨක සිත් මොහොතකට නිහඩ කරමිනි.

ආගමික මුහුණුවර සහා සාම්ප්‍රදායික ආදරය අතික්‍රමණය කරමින් සෑම කෙනෙකුටම දක්වන්නා වූ මානූෂීයත්වය පිළිබඳව, කතාව ඔස්සේ ගලායාම තවත් මෙහි ඇති විශේෂත්වයකි.
එනිසා තියුණු රසාස්වාදයක් ඇති පාඨක ඔබ ද මෙම පොත කියවීමෙන් වින්දනයක් ලබනවා නොවනුමානය.




Thursday, June 14, 2018

ඔහු සහ ඇය

මේ කාතාව කොහොම ද පටන් ගන්න ඕනේ කියල මට තාමත් හිතා ගන්න බෑ. ඒත් මේක ඔබ හමුවේ ගෙනහැර දැක්විය යුතුමයි කියා සිතුන වාර අනන්තයි, අප්‍රමාණයි. සමහර විට මේක කියෙව්වාම, කියන්න ඕන කතාවක් නෙමෙයි කියලත් කාටහරි හිතෙන්න පුලුවන්. ඒත් මේකේ අවසානයෙන් නියම යාතාර්ථය දකින්න පුලුවන් නම් එක තමයි ඔබත් මාත් ලබන පරම ජයග්‍රහණය.

අද මෙන්ම එදත් කොළඹ යනු ඉතාමත් ජනාකීර්ණ නගරයක්, මම මේ කතා කරන්නේ මීට අවුරුදු හතකට හෝ අටකට පමණ පෙර අතීතයයි. එකල ද කොළඹ අතිශය ජනයාගෙන් පිරී ඉතිරි ගිය නගරයක්. එත් ගම් බද අපිට සෙනග එතරම් හුරුපුරුදු නෑ, නමුත් පාසල් නිවාඩු ලද සැනින්ම කොළඹ අත්තම්මලාගේ ගෙදර වෙත දිවිම තරම් දෙයක් මටත් මාගේ නැගණියටත් නොතිබූ බව නම් නොවනුමානය. සුපුරුදු පරිදි නැගෙණිය යෝජනාව ඉදිරිපත් කලා, මම පසෙකින් සිටියෙ එය ස්ථිර කරනු පිණිස මිස වෙනයම් බලාපොරොත්තුවකින් නම් නොවේ.

“මොකද්ද අම්මේ, නිවාඩුව පටන් ගෙනත් දැන් සතියක් වෙනවා. අපි අත්තම්මලාගේ ගෙදර යන්නෙ නැද්ද?”

නංගි නිතරම පෙරැත්ත කරන්න පටන් ගත්තා. හවස තාත්තා වැඩ නිමවෙලා ගෙදර ආවට පස්සේ තමා සුභදායක පිළිතුරක් ලැබුනේ, මං හිතන්නේ අම්මා කලින්ම තාත්තට විස්තරේ කියල ද කොහෙදෝ.

“හෙට 6.10ට ඉන්ටර් සිටිය තියනවා නුවර ස්ටේෂමෙන් කොළඹ කොටුවට, මං එන ගමන් වොරන්ට් එකකුත් ලියාගෙනම අවේ කෝකටත්. දැන් ම ඇඳුම් ටික පැක් කර ගන්නවා හොඳා මහ රෑ වෙනකන් අම්මල දුවල ඇහැරිල ඉන්නෙ නැතුව.”
තාත්තා ඒ කිව්ව වචන ටික නංගිටයි මටයි අමුතුම ප්‍රොබෝධයක් ගෙන දුන්නා.

***********************************************************************************

කිව්වත් වගේ 6.10 ඉන්ටර් සිටිය 2 වෙනි වේදිකාවේ අපි යනකොටත් නවත්තල. අම්මෝ ! පුදුම සෙනගක්, මං හිතන්නේ ඉස්කෝල නිවාඩු හින්ද ද කොහෙදෝ. බදුල්ලේ කෝච්චියේ නම් ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නෑ. වෙන් කල ආසන නිසා අපිට නම් කොළඹ කෝච්චියේ දි එතරම් කරදර වුනේ නෑ.

අපි කොටුවෙන් බහිනකොට උදේ 9ට විතර ඇති. ඒ වන විටත් තද අව් රශ්මියෙන් නම් අඩුවක් වුනේ නෑ. නුවර අපිට එහේ රස්නයයි, දාඩියයි කොහොමත් හුරු නෑ. මේ හැමදේම අස්සේ අපි මොරටුව බස් එකට ගොඩවුනේ රත්මලානෙන් බහින අටියෙන්. පැයකින් පමණ අපි හිටියෙ අත්තම්මලගේ ගෙදර දොරකඩ ලඟ. නංගි දොරට පසෙකින් තිබූ බෙල් එක තදින් එබුවා. තත්පර 30ක් පමණ ගත වෙන්න ඇති. අත්තම්මා සිනහ මුසු මුහුණෙන් දොර ඇරියා.

“මම ඒත් බැලුවා මොකද පරක්කු කියලා” ඒ අත්තම්මාය.
අද නම් මාර සෙනගක් අම්මා නුවර හිටියේ. ස්ටේෂමේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ. ලක්ෂ්මන්ට වොරන්ට් තිබ්බ හින්දා හොඳට ගියා” පෙරලා පිළිතුරු දුන්නෙ අම්මා ය.
සැනෙකින් මුලු නිවසම කතා බස් වලින් පිරුණේ අපේ ආගිය මග තොට තොරතුරුත් එක්කමයි.

***********************************************************************************

පසුව දා මම TV එක බලමින් සිටියේ වෙන යම් දෙයක් කිරීමට ඇති කම්මැලිකම නිසාමයි. නංගි නම් තාම එහා ගෙදර පොඩි අයත් එක්ක සෙල්ලම. වේලාව 11ට විතර ඇති. අම්මයි අත්තම්මයි ලොකු කතාවක්, තාත්තා ටවුමට ගිහින් ගෙදරට ඕන කලමනා ටිකක් ගෙන්න. මේ අතර අහම්ඹෙන් වගේ මගේ කන වැකුනේ රණඩුවක සද්දේ. මම ඉක්මණින් බැල්කනියට දිව්වේ සද්දේ මොකද්ද බලන්න. පාරේ කවුදෝ ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි ගහ ගන්නව. TV එකෙන් ඔය වගේ එවා නිතරම දැක්කත් මේ රණ්ඩුව නම් හරිම වෙනස්. ගෑණු ළමයා හයින් පාරක් ගහනකොට පිරිමි ළමයත් ඊට නොදෙවෙනි පාරක් ගැහුවා. දෙන්නට දෙන්නා ගහ ගන්නවා. ඔවුන් පැමිණි මෝටර් සයිකලය පසෙකින් වැටී තිබුණා. මේ සද්දේට අම්මායි, අත්තම්මයි දෙන්නත් බැල්කනියට ඇවිත් තිබුණේ කුමක් වන්නේ දැයි විපරම් කිරිමට. අපි බලා සිටියේ කර කියා ගැනීමට දෙයක් නොමැතිවයි. කෙසේ හෝ මා මෙය විනාඩි 15 පමණ සිට බලාහිඳ ඇති බවට නොවනුමානයි. එහෙත් අවුරුදු 14 දරුවෙක් වන මම මේ රණ්ඩුව කෙසේ නවතන්න ද?

“අම්මේ ඔයා පුතත් එක්ක ඉන්න, මන් ගිහින් කොල්ලටයි කෙල්ලටයි සැර කරල එන්නම්. කාගේ උනත් දරුවොනෙ අම්මේ, නැද්ද” කියන ගමන්ම අම්ම මට අතින් සන් කලේ පහලට නොපැමිණෙන ලෙසයි.

එත් අම්මා පහලට බහින විටත් පරක්කු වැඩිය. මන්ද අසල සිටි නිවැසියෙක් පාරට බැස තත්වය සමනය කිරීමට සැරසී හමාරය.

“මුඩුක්කු වල පර හැත්ත. ගෙදරකවත් ඉන්න නෑ නිවි හැනහිල්ලේ. ගහල පන්නන්න කලින් පලයව් යන්න. මං දැන් නොකිව්වයි කියන්න එපා” නිවැසි කාන්තාව පාර දෙවනත් කරමින් කෑගැසුවා.

කෙල්ලගෙ නම් කම්මුල ඉදිමිල, කොල්ලගෙ මූණේ සීරුම් පාරවල් වලින් පොඩ්ඩ පොඩ්ඩ ලේ ගලනවා. කෙල්ල ගලකින් ගහපු නිසා කොල්ලගේ කකුලෙනුත් ලේ ගලනවා.
නිවැසි කාන්තාවට බය වූ දෙපලම මොටර් සයිකලය ද අහුලගෙන පයින්ම ඉදිරියට ඇදුනා. ඒ සමඟම කාන්තව ගේට්ටුව වසාගනිමින් ගෙට ගොඩ වුනා, අම්මා ද උඩට පැමිණියේ අත්තම්මා සමඟ කතාවට තව ලුණු ඇඹුල් එක් කරන අදහසිනි.

ඒත් මම බැල්කනියට වී ඈතින් අවිදන් යන ආවේගශිලි තරුණ දෙපල දෙස බලන් හිටියේ බොහෝම උනන්දුවෙන්. කෙසේ වෙතත් වැඩි දුරක් නොගොස් පෙර පරිදිම දෙදෙනා ආයෙත් කාකොටා ගැනීමට පටන් ගත්තේ ආදරය ගැන එතරම් දැනීමක් නොතිබුණු මට ද යම් ප්‍රශ්නාර්තයක් ඇති කරමිනි.

කතාවෙන් ඔබ්බට

පසුව දැනගන්නට ලැබුන පරිදි, රණ්ඩු වූ තරුණ දෙපල ඒ අවට පදින්චි බොහොම සල්ලිකාර පවුල් 2ක දරුවන් දෙදෙනෙකි. ගැටලුව නම් එය නොව්. ඔබ මොහොතකට හෝ සිතුවාද මේ දෙපල විවාහ වූ කල කුමක් සිදු වේ දැයි කියා? අදට ද මෙවැනි කතා බොහොමය. අදට ද අඹුසැමි වෙන්වීම් එමටය. ඒ නිසා අසරණ වන පුන්චි දරුවන් එමටය. එසේනම් වරද කොතැන ද??? සිතීම ඔබට බාරයි.........
(මෙය තවත් එක් තරුණ දෙපලකගේ ලාමක ගැටලුවක් ලෙස නොසලකන්න. මෙය සමාජයට තවදුරටත් බලපාන අයුරු දකින්නට තරම් ඔබගේ පරිණත අදහස් මෙහෙයවීමට උනන්දු වන්න.)



ආදරණීය මව්පියන්



දුටු දා පටන් මම මේ නව                            ලෝකය
දුන්නා වදන් ගෙන යන්නට                          ජීවිතය
යන්නට පෙන්නුවේ හැමවිට යහ                   මගය
වැන්ඳේ බුදුන් යැයි ඔබ                                දෙපලය

කාලය සෙමෙන් යයි අප සිත් එක               ලෙසය
කුලුඳුල් මටත් ඔබේ සෙනෙහස                    ඇතිය
නොපතමි තව යමක් ඔබගෙන් මේ              භවය
රැඳෙනු සාදාකල් ඔබ මා                          අසලමය

නමදිමි දෙපා ඔබගේ හදපිරි              බැතියෙන්ම
නැත පමණක් පතමින් මා                      අනුහස්ම
ඒ සැමවිටම අසමින් දෙන                        ඔවදන්ම
පතනෙමි මම  ඔබේ නිරෝගී                     සුවයම

වදනුත් මදි ඔබෙ ගුණ                             ගයන්නම
හැඟුමුත් මදි ඔබේ සිත්                        තෙමන්නම
ගෙවනත් මදි ඔබ දුන් ණය මේ                   සසරම
වඳින්නම් දෙපලම ඔබ  එබැවින්               හැමදාම

නැත මට සරණ ඔබ හැර මෙලොව                වෙන
නැත මට අරමුණු ඔබගෙන් වෙන්                  වන්න
නැත මට අන් සෙනෙහසක් ඔබ දුන් ලෙස  ලබන්න
නැත මට අදහසක් ඔබ තනි කර                     ලන්න

කල හැම දෙය මා අඳුරෙන් රැක                        ගන්න
ආසිරි වේවා ඔබට මේ සසරෙන් ගොඩ            වන්න
පතනෙමි ඔබේ අවසර මෙතැනින්              නවතින්න
මතු සන්සාරෙත් යලි ඔබෙගේ පුතු                 වෙන්න

Wednesday, June 13, 2018

බැඳීම්

ජීවිතය අප හිතනවාට වඩා බොහෝ වෙනස් කියල ඔබ දැනටමත් තාර්කික මට්ටමින් තේරුම්ගෙන ඇති බවට සැකයක් නෑ. වගකීම්, යුතුකම්, බැඳීම් හා සිත් වේදනා හමුවේ දුවන ජීවිත ගමන තුල ඔබ තනිව හැඬු අවස්ථා සුලබ බව නොවනුමනයි. ඒ අතරින් බැඳීම් ඔබව කෙතරම් වෙනස් පුද්ගලයෙකු කරන්න ඇති ද? ඔබ මොහොතක් හෝ ඒ ගැන සිතුවා ද? එසේත් නැති නම් ඔබ සිතාමතා ඒවා අමතක කරා ද? නොවේනම් බැඳීම් හි ඔබේ අසමත්භාවය සමාජය විසින් දැනගනී යැයි බිය වුනා ද?

බැඳීම් යනු හුදෙක් මානසිම තෘප්තිය ඇතිකර ගැනීම සඳහා වන්නා වූ උත්තේජනයක්ම පමණක් නොවේ. මන්ද සෑම ශක්තිමත් බැඳීමකටම ඔබ සිතනවාට වඩා අධය්‍යත්මික වටිනාකමක් තිබෙන බව නිසැකයි. එය තේරුම් ගැනීම සහා විශ්වාස කිරීම ඔබට බාරයි. ඇත්තෙන්ම බැඳීමක පදනම විශ්වාසය හා මනා අවබෝධයයි. මොහොතක් සිහි කැඳවන්න ඔබ වටා ඇති සාර්ථක බැඳීම් හා ඒ වටා ගෙවෙන සන්තෝෂය පිරි සිත් ගැන. ඒ සෑම දේයකටම ජීවය සපයන්නේ විශ්වාසය බව ඔබට වැටහෙනවා ද?

අද බහුතරයක් බැඳීම් නීතිය හමුවේ කෙලවර වන ආකාරය දැකීමට ලැබීම සිතට මහත් කනස්සල්ලක් ගෙන දෙන බව ඔබටත් දැනෙනවා ද? කෙලවරවන බැඳීම් හමුවේ අසරණ වන අහින්සක පුන්චි හිත් ඔබ නොදුටුවා ද? මේ සෑම ප්‍රශ්නයකටම ඔබ ළඟ පිළිතුරු ඇතිබව නොවනුමනායි. නමුත් එය නොදන්නා මෙන් හැසිරෙන්නේ ද අපමය. අප සියලු දෙනාම දැනුවත්ව හෝ නොදැනුවත්ව මගහැරු ඒ වටිනා බැඳීම් ගැන නැවත උනන්දු වන්න කාලයයි මේ. සිතීම තවදුරටත් ඔබට බාරයි.



Tuesday, June 12, 2018

නොපැවසු පිළිතුර





මදනල ලෙසින් හමාවි මගෙ                           පැල්පතට
පාවඩ එලනු විනා මහා                                    සුළඟකට
ආවත් රැගෙන සතුට උදුරා                                ගන්නට
නොදෙනිමි කිසිත් ගෙනයන්නට මම                    ඔබට

නොඅයදිමි මම යලිත් ළඟ                           නවතින්නට
පවසනු නැත යලිත්                                   පැමිණෙන්නට
නැත මම ළඟ තවත්                                     සනසන්නට
නෙතට කඳුලක් නැගෙන                                    කලකට

මැවූ සිත් දසුන් නැත තව                              සරසන්නට
ලියූ කවි වදන් නැත කන්                               පිනවන්නට
ගෙවූ ඒ දවස් නැත තව එනු                          පවසන්නට
ඵලක් නැත තවත් එය ගැන                            සිතන්නට

මොහොතින් නැවතුනත් පෙම එක්                 වදනකට
නැත මම කිසිත් පැවසුවේ                            ගරහන්නට
පෙරලා පැමිණි වදන් සිත්                               රිදවන්නට
නැත තව මන තුල   සිහි                              කැඳවන්නට

යනු නිසැකයි මිණි කැටයක්                         සොයන්නට
නොවටිනා තිරුවාණා මම යැයි සිහි           කරවන්නට
අගයක් නොමැති කල සිතකට දිරි                   දෙන්නට
හැර යනු හොඳයි යලි කිසිදා                     නොයෙන්නට




සිහින

ඔබත් සිහින පසුපස හාඹා යන්නෙක් ද, නැත්නම් දකින සිහින සැබැ කරගැනීමට උත්සහා දරන්නෙක් ද, කෙසේ වෙතත් බොහෝ දෙනා සිහින දැකීමට ප්‍රියතාවයක් දක්වන බව මිනිසුන් වන අපට නොරහසකි. නමුත් ගැටළුව නම් බෝහෝ දෙනා සිහින සැබැ කරගැනීමට උත්සුක නොවීමයි. අද තරුණ වැඩි පිරිසකගේ පොදු සිහිනය මනා රැකියාවක් සොයාගැනීම සහා ගැලපෙන සහකාරියක්/සහාකාරයෙක් සොයාගැනීමයි. මෙයින් අතික්‍රමණය වූ බොහෝ සිහින තිබෙන්නට පුළුවන මන්ද වෙනස්ම ආරයකින් සිතන තරුණ තරුණියන් නූතණ සමාජය තුල නැතුවාම ද නොවේ.

ඔබත් සිහින දකින්නකු ලෙස සිහින සැබැ කරගැනීමට ලතැවෙන්නුක විය හැක. මන්ද විටෙක මම ද එවැනි මන්දගාමී ස්වරුපයක් දක්වමි. යම් විටෙක ඔබ දකින සිහින කොතෙක් දුරට සාධාරණිය කරගත හැකිදැයි ඔබටම වටහාගත නොහැකි වූ අවස්ථා බහුල විය හැක. මා හට ද එසේමය. නමුදු සිහින දැකීම අප කාහටවත් නතර කල නොහැක. මක්නිසා ද යත්, ස්වභාවධර්මය අප හා සිහින අතර සමීප සබඳතාවක් නිර්මාණය කර ඇත්තේ ලෝකයේ පැවැත්ම මනාව ස්ථාවර කරන අටියෙනි. ඒනිසා සිහින නොදකින්නෙකු සෙවීම දැනුවත්ව හෝ නොදැනුවත්ව අපහසු කාර්ය්‍යක් වන බව නොවනුමානය.

ඔබ දකින සෑම වැදගත් සිහිනයක්ම සඵල කරගැනීමට අවශ්‍ය සාධක සහා තත්වයන් මනාව නිර්මාණය කිරීමට ස්වභාවධර්මය නිතරඟයෙන්ම ඉදිරිපත් වනබව ඔබ දන්නෙහි ද, සැබවින්ම එයයි සත්‍ය. ඒනිසා ඔබ ඉටුකරගැනිමට නොහැකිව ප්‍රමාද වන සිහින කිසිදා අත්නොහරින්න. මන්ද එම සිහින සඵල වීම වැඩි ඈතක නොවනු බැවින්. ඔබ නිතරම අනාගතය පිළිබඳ සිහින දකින්න, එය විඳින්න. ඔබ එය තුල ජීවත් වන්න. එය තව තවත් පෝෂණය කරන්න. එය සඵල කරගැනීමට උත්සහ දරන්න. ඔබේ උත්සහය තවදුරටත් විශ්වාස කරන්න. එවිට ඔබේ ජිවන ගමන වෙනස් වනු නොවනුමානය.

කුලුඳුල් දිග හැරුම

ජිවිතය තුල ඔබ කෙතරම් දේවල් දැක අත් ද, කෙතරම් දෙවල් අත්විඳ ඇත් ද, නමුත් ඔබ එය තුල ගැබ් වූ යාතාර්ථය කෙදිනමක හෝ සිතුවා ද, සිතීමට උත්සහා හෝ කලා ද, මා ද ඒ සඳහා දෙනු ලබන පිළිතුර සැක සහිතය. මන්ද මම ද අනෙක් සාමාන්‍ය මිනිසුන් මෙන් කාර්ය්‍යබහුල ජීවන ගමන තුල සෑම ක්‍රියාවකම, එසේත් නැතිනම් සෑම සිදුවීමකම කුලුඳුල් සතය්‍ය සෙවීමට තරම් අපොහොසත් වූවෙමි. නමුත් එය තවදුරටත් එසේම විය යුතු ද,අප සියලු දෙනාම යතාර්තය මගහැරිය යුතු ද,සිතීම ඔබට බාරයි.

යම් හෙයකින් ඔබ යාතර්තය මග හරින්නෙද එය අනෙක් පසින් ධර්මය ද මග හැරීමක් වීම නොවනුමානය. හුදෙක් ධර්මය යනු මුණිවරයානන් වහන්සේ දේශනා කල සංසාරගත සත්‍යම පමණක් නොවේ. ධර්මය යනු ස්වභාවධර්මයාට අනුකූලව යහපත් ක්‍රියා පටිපාටියක් අනුගමනය කිරීමයි. නමුත් යාතාර්තය හා ධර්මය අතර ඇති සබඳතාව කුමක් ද, මාගේ හැඟීමට අනුව නම් යාතාර්තය සහා ධර්මය යනු මෙලොව වාසය කරන සියලු සත්ත්වයාටම වලාංගු පරම සත්‍යයයි.

ඉතාමත් ඉක්මනින් යාවත්කාලීන වන සමාජය තුල මිනිසා සෑම ක්‍රියාවකම ඇති සත්‍ය එසේත් නැති නම් යාතාර්තය අනුමත කිරීමට මන්දගාමි පිලිවෙතක් අනුගමනය කරයි. එය ආර්ථික මට්ටමින් අප සියලු දෙනාටම බලාපා ඇති අයුරු බොහෝ දෙනා මේ වන විටත් නිරීක්ෂණය කර ඇති බව නොවනුමානය. නමුත් බහුතර මතය හමුවේ බොහෝ දෙනා නිහඩ පිළිවෙතක් අනුගමනය කරනු දක්නට ලැබීම කනගාටුවට කරුණකි. කෙසේ වෙතත් තනිව හෝ සාමුහිකව හෝ අප දකින යතාර්තය කෙතරම් සාධරණ දැයි තීරණය කිරීම කියවන ඔබට බාරයි. මන්ද ඔබේ සැනසුම ඔබම හඳුනාගත යුතුයි, ඔබම අත්විඳිය යුතුයි සහා ඔබම වටහා ගත යුතුයි...

සිත්ගත් ලිපි